අලුත් ජම්බු

අනුරපුර මසාජ් කඩ වල කතන්දරේ මෙන්න


අනුරාධපුරය විශාල නගරයකි. ඒ නගරය පුරා ඇස ගැටෙන සම්බාහන බෝඩ් ලෑලි එමටය. නා නා ප්‍රකාර නම්වලින් ප්‍රසිද්ධය. එහෙත් එම සම්බාහන මධ්‍යස්‌ථාන බොහෝමයක සිදු වන්නේ සම්බාහනයට මුවා වී සංවාසයේ යෙදවීමකි. එවැනි ඇතැම් සම්බාහන කඩ අනුරාධපුර නගරය තුළ දවස මුළුල්ලේ විවෘතය. හයෙන් පස්‌සේ ‘මෙම්බර්ස්‌ ඔන්ලි’ රහස්‌ දොරටුවෙන් ඇතුළටය. එතැනින් එහාට සම්බාහනයක්‌ නැත. සම්බාහිකාවන් සමඟ රිසි සේ සතුටු විය හැකිය. වැඩේට ඉඩ කඩ කුටි ද හරි අපූරුවට වෙන් කර තිබේ. හදවත් සසල කරවන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය ආසන්නයේ ද සම්බාහන ගුබ්බෑයම් විවෘත වී තිබීම නිසාය. හේන්වල, කුඹුරුවල වැඩ කරන මිනිස්‌සු, පූජා භූමියේ මල් විකුණන ‘මල් කොල්ලො’ දවස තිස්‌සේ හරි හම්බ කරන සොච්චම සම්බාහන ගුබ්බෑයම්වලට පූජා කර යන අයුරු දකින විටය.
පසුගිය දිනවල අපි අනුරාධපුර නගරයේ සංචාරය කරමින් ඒ සියල්ල අත්වින්දෙමු. නගරය පුරා ඇති සම්බාහන මධ්‍යස්‌ථාන කිහිපයකට යමින් සම්බාහිකාවන් සමඟ කතාබහ කළෙමු. රුපියල් ශතවලට ශරීර කූඩු මිරිකන ඒ සම්බාහිකාවන් කියන කතාවලට විටෙක සිනා යන්නේය. විටෙක හදවත පත්ලෙන් මතු වන සිහින් වේදනාවට ශරීර කූඩුවම හිරි වැටී යන්නේය. සැබැවින්ම ඒ ගුබ්බෑයම්වල සිදු වන අවකෙළි ගැන කියන්න ලැඡ්ජයි. එහෙත් සිරිමා බෝධීන් වහන්සේ අබිමුව සිට මේ නටන නාඩගම් ගැන රට්‌ටු දැනුවත් කළ යුතුමය. එහෙයින් අපට තොරතුරු ලබාදුන් අයගේ නම් ගම් මන:කල්පිත කරමින් කතාව පමණක්‌ මෙසේ පෙළගස්‌වමු.
අනුරාධපුර නගරය පුරා සම්බාහන මධ්‍යස්‌ථාන විස්‌සකට වැඩිය. ඒ අතරින් රජයේ ලියාපදිංචිය සහිතව නීත්‍යනුකූලව පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්‌ථාන කිහිපයකි. අන් සියලුම සම්බාහන මධ්‍යස්‌ථාන නීති විරෝධීව දේශපාලන බලය සහිතව පවත්වාගෙන යන ඒවා බව සැබෑවකි. එමෙන්ම මේ වන විට අනුරාධපුර නගරයෙන් ඔබ්බට තඹුත්තේගම, එප්පාවල, නොච්චියාගම, කැකිරාව, මිහින්තලය, රඹෑව ආදී එකී නොකී නගරවලට ද මේ ‘තැල්මට්‌’ කඩ ව්‍යාප්ත වෙමින් තිබේ. මේ සියලුම සම්බාහන මධ්‍යස්‌ථානවලට ‘බිස්‌නස්‌’ එමටය. මේ වන විට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඇති සම්බාහන මධ්‍යස්‌ථානවල, රාත්‍රි සමාජශාලාවල සේවය කළ කාන්තාවන් ද අනුරාධපුර නගරයේ සහ ඒ ආශ්‍රිත සම්බාහන මධ්‍යස්‌ථානවල සේවයේ නිරතව සිටිති. ඒ බව අපට කීවේ අනුරාධපුර නගරයේ සම්බාහන මධ්‍යස්‌ථානයකදී හමු වූ සම්බාහිකාවක්‌ය. ඇය ද දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. අනුරාධපුරයේ දැන් ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්‌ථානයට පැමිණ මාස තුනකි. ඇය අප සමඟ හිතවත් විය. අවසානයේ සම්බාහන ජීවිතයේ බොහෝ දේ අපට කීවාය. මේ ඇය කියූ කතාය.
”කොළඹ සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩ කරනකොට ගමේ අයට මාට්‌ටු වෙනවා. දුර පළාතක වැඩ කරනකොට අපි මොනව කරනවද කියලා ගමේ අය දන්නේ නෑ. මාසෙකට වතාවක්‌ ගිහින් ගෙදරට කීයක්‌ හරි දීලා දවසක්‌ දෙකක්‌ ඉඳලා එනවා. අපි නතර වෙලා ඉන්නෙත් මෙතැනමයි. අපි නවදෙනෙක්‌ නතර වෙලා ඉන්නවා. ඒ සේරම දුර පළාත්වල අය. අපිම කෑම, බීම හදාගන්නවා. වැඩි වියදමකුත් නෑ. ඔයාලා දෙන මුදල ගෙඩියටම ඉතුරුයි…” කොමළ හඬත් සමඟ ඇඟ සොලවමින් ඇය දෙනෙත්වලින් ඉඟි මරන්නීය.
ඔයලා දෙන මුදල කිව්වේ…? නොතේරෙන සේ මම ඇයට පැනයක්‌ විසි කළෙමි.”ඔය ඉතිං බබා වෙන්න හදනවා නේ… අපිට පඩි නෑ… ඔයාලා අපිට දීලා යන කීයක්‌ හරි විතරයි… තේරුණාද…” ඇයගේ කතාව හරිම හුරතල්ය. මායම් හැට හතරක්‌ නොව, එකසිය හැට හතරක්‌ පමණ ඇය දැනටමත් පාවිච්චි කර හමාරය.
”කොළඹ කාක්‌කෝ වගේ මේ ගම්වල මිනිස්‌සු හොර බොරු නෑ… අතේ සල්ලි තියෙනවා නම් අපිට හොඳට සලකනවා. ඉල්ලගෙන පින්සෙන්ඩු වෙන්න දෙයක්‌ නෑ. වැඩ අඩුම දවසටත් එක්‌දහස්‌ පන්සීයක්‌, දෙදාහක්‌ හොයාගන්න පුළුවන්. ඒක අපිට ඉතුරුයි. සෙන්ට්‌, පවුඩර් ටිකක්‌ ගන්න යන වියදම ඇරෙන්න මගේ වෙන වියදම් නෑ. මෙතැන වැඩ කරන අනිත් අය නම් සිගරට්‌, අරක්‌කු බොනවා. හවසට එළියට ගිහාම ආයෙත් එන්නේ පාන්දර. ක්‌ලබ් ගිහිල්ලා… ඩිනර් පාටිවල කාලා බීලා වාහනවලින් ගෙනත් දානකොට කෙළින් කටින් ඉන්න බෑ. හොඳට කලා, බීලා තුන්, හාරදාහක්‌ අරගෙනත් එනවා…” දැන් ඇය මිනිසුන්ට හීලෑ ගිරවියක්‌ ගානය. සියල්ල වමාරති.
රාත්‍රියට අයාලේ යන කාන්තාවන් හිමිදිරිය වන විට රොන් සිඳුණු, පෙති හැලුණු පර වූ මල් බව අමුතුවෙන් කිවයුතු නැත. ගනුදෙනුකරුවන් ඉදිරියේ දුහුල් පට උනා දමන ඕනෑම කාන්තාවකගේ අවසානය ද එයමය. හිමිදිරියේ පර වී නැවත ආලෝකයත් සමඟ අවදි වන මේ සම්බාහිකාවන් උදේ අට වන විට ගනුදෙනුකරුවන් පිළිගැනීමට සම්බාහන මධ්‍යස්‌ථානයේ පේවී සිටිය යුතුමය. එය ඔවුන්ගේ දින චර්යාවේ ප්‍රධාන කොටසය. නැවත මම ඇයගේ ගලන කතාවට පැන්නෙමි.
”උදේ ඉඳලා හවස්‌ වෙනකම් මෙතැනින් හම්බ කරගන්න ගාන මට හොඳටම ඇති. වැඩි සල්ලි ඇඟට ගුණ නෑ. අඩු වයසින් ලෙඩ්ඩු වෙනවා. මම කිසිම දවසක සිගරට්‌ අරක්‌කු බීලා නෑ. මෙතැන එක කෙල්ලෙක්‌ ඉන්නවා අවුරුදු දහනවයයි. සිගරට්‌ බොනවා නෙමෙයි කනවා. පුදුම සිගරට්‌ බීමක්‌. තොල් කාපට්‌ වගෙයි. දැන් සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩ කරන පොඩි කෙල්ලො සේරම වගේ මත්පැන් පාවිච්චි කරනවා. ඒක නිකං විලාසිතාවක්‌ වෙලා. ගම්වල කෙල්ලො පොඩ්ඩේදී අරක්‌කු සිගරට්‌වලට ඇබ්බැහි වෙනවා. මම නම් ඒ දේවල් නතර කරන්න කියලා කෙල්ලන්ට බණිනවා. ඒත් වැඩක්‌ නෑ. අපි මොන රස්‌සාව කළත් අපේ ආරක්‍ෂාව ගැන හිතන්න ඕනා…” කියන විදිහට ඇයට වයස අවුරුදු විසිහතකි. පෙනුම ඊටත් ළාබාලය. කතාව හරිම ළපටිය. ඇය මේ වෘත්තියට ද ළාබාලය. එහෙත් ඇය සල්ලාලයකුගේ ගොදුරක්‌ බවට පත්ව ඇත්තේ පුංචි සන්දියේදීය. ඒ කාලකණ්‌ණි අතීතය මතක්‌ කිරීමට ඇය අකැමැති බව සුමුදු මුදු මුහුණේ ඇඳෙන ඉරියව්වලින් පෙනිණි.
”මම මෙතැන වැඩ කරන්න පටන්ගත්තට පස්‌සේ එක, එක, ජාති මෝල්කාරයො ඇවිත් තියෙනවා. කරන්න හදන්නේ, කියන්නේ අමුතු දේවල්. ඒ හැම දෙයක්‌ම ඉවසගෙන, ඒ අයවත් පාලනය කරගෙන මේ වැඩේ කරගෙන යන්න හොඳට මීටරේ පාවිච්චි කරන්න ඕනා. මේ අහල පහල වඩුමඩුවක වැඩ කරන කොල්ලෙක්‌ එනවා. ඒ කොල්ලගේ ගම පානදුරේ. මෙහේ ඥාතී ගෙදරක නතර වෙලා ඉන්නේ. වයස අවුරුදු දහඅටක්‌ නෑ. හොඳ පිරිසිදුවට, හැඩට ඉන්නවා. ඒත් මෙතැනට ආවහම අපිට පුදුම වදයක්‌ දෙන්නේ. හැබැයි එහෙම කරදර කළාට ඉල්ලන ගාන දීලා යනවා. මේ තැන්වලට එන හැමෝම බලන්නේ මසාඡ් එකත් දාගෙන අපිවත් මසාඡ් කරගෙන යන්න තමයි. ගනුදෙනුකරුවන්ගේ කැමැත්තට අපි අකැමැති වුණොත් මේ තැන්වලට බිස්‌නස්‌ නැති වෙනවා. ඒ නිසා තමයි අපිට පඩියක්‌ නොදී ගනුදෙනුකරුවන්ගෙන් ගාණක්‌ ගන්න පුරුදු කරලා තියෙන්නේ…” සම්බාහනය පටන්ගෙන පැයකට වැඩිය. එහෙත් කතාවේ රසට ඇයට වේලාවක්‌ ගැන නිච්චියක්‌ නැත.
අප දැන් සිටින සම්බාහන මධ්‍යස්‌ථානය පිහිටා ඇත්තේ නවීන පන්නයේ නිවසකය. ඇතැම් සම්බාහන කුටි වෙන් කර ඇත්තේ තිර පටවලිනි. අල්ලපු කුටියේ හීන් කෙඳිරියත් යාබද කුටියට හොඳින් ඇසේ. ඇතැම් විට අතපය විසි වන විට තිරපට ඉලිප්පී මතු වේ. කුටි පෙළකට ඇත්තේ එකම බාත්රූම් එකකි. එයත් හුණ්‌ඩුවක්‌ වැනිය. හුළං කවුළුවක්‌ නැති පුංචි කුටිය තුළ විදුලි පංකාව නොවන්නට පාන් පෝරණුවට අන්තය. සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇවැසි අවම පහසුකම් හෝ සම්පූර්ණ වී නොමැති මේ සම්බාහන මධ්‍යස්‌ථානයේ එක්‌ ගනුදෙනුකරුවකුගෙන් අය කරන ගාස්‌තුව නම් අඩු නැත. පැයකට රුපියල් එක්‌දහස්‌ දෙසීයකි. ඊට අමතරව ‘තැල්මට්‌’ එකේ රසේ තරමට සම්බාහිකාවට ද ගෙවිය යුතුය. එම සම්බාහන මධ්‍යස්‌ථානයෙන් නික්‌ම අපි තවත් සම්බාහන මධ්‍යස්‌ථානයකට ගියෙමු.
එම සම්බාහන මධ්‍යස්‌ථානයේ පෙර සම්බාහන මධ්‍යස්‌ථානයේ පහසුකම් හෝ නැත. තනිකරම ගුබ්බෑයමකි. සිටින සම්බාහිකාවන්ගෙන් කිහිපදෙනෙක්‌ සා ගින්නකට හසු වූ ගානට ශරීර කූඩු හීන් වී ඇත. ඇතැම් කාන්තාවන්ගේ රූපශ්‍රීය ගැන කතා නොකළ හැකි තරම්ය. එහෙත් ඔවුන් රූප සොබාව වැඩි කරගැනීමට තැවරිය හැකි හැම ලාටුවක්‌ම උලා සිටි අයුරු පෙනිණි. රූපත් නොවන සම්බාහිකාවක්‌ මා ළඟට පැමිණියාය. කියන විදිහට ඇයට වයස අවුරුදු තිස්‌හතකි. දරුවන් තිදෙනකුගේ මවකි. සැමියා කුලීකරුවෙකි. ඇය පදිංචි වී සිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ දුප්පත්ම ගමකය. මේ රැකියාවේ නිරතව සිටින බව සැමියා ද දැන සිටින බව ඇය අපට කීවාය. කඳ, බඩ වගේ ඇයගේ කතාව ද උස්‌ය. ප්‍රශ්නවලට උත්තර පොල්ලෙන් ගහනවා වැනිය.
”අපි ළඟට වැඩියෙන් එන්නේ වන්දනාවේ එන අයයි, බස්‌කාරයොයි. දුර ගමන් සේවා බස්‌කාරයෝ උදේට බස්‌ එක පාක්‌ කළාට පස්‌සේ ආයිත් යන්නේ හවසට. දවලA දවසම වැවක්‌ ළඟ වේළෙනවා. ඒ අතර කාලේදී අපි ළඟටත් එනවා. අත දිගහැරලා වියදම් කරනවා. අපිත් ලොස්‌ නැතිව ඉල්ලන ඕන දෙයක්‌ දෙනවා. වන්දනාවේ එන අය වැඩිපුර එන්නේ හවසට. ඒ අය කීයක්‌ හරි දෙන්නේ කිරලා මැනලා. මේ ටවුන් එකේ බිස්‌නස්‌ කරන උන් ආවහම බලන්නේ සේරම කරගෙන අපෙනුත් කීයක්‌ හරි ගෙනියන්න. මෙහේ එකෙක්‌ දැක්‌කම මම නම් හැංගෙනවා…” නගරයේ ත්‍රිරෝදකරුවන් ද ඇයට වහ කදුරු වැනිය. එහෙත් ලව්ඩ්ස්‌පීකරයක්‌ වැනි කටක්‌ ඇර ගැනීම පඩික්‌කමක්‌ හෝදනවා හා සමානය. එහෙයින් ඇය සමඟ වැඩි කතාබහක්‌ නොමැතිව ඒ සම්බාහන මධ්‍යස්‌ථානයෙන් අපි එළියට බැස්‌සෙමු.
අනුරාධපුර නගරයේ ගමන් කිරීම මොළේ විකාර වන වැඩකි. ඒ තරමට පාරවල්ය. ස්‌ථානයක්‌ සොයාගැනීම ලේසි පහසු නැත. නගරය ගැන කිසිදු දැනුමක්‌ නැති වන්දනාකරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා තැන, තැන සිටින ත්‍රිරෝදකරුවන් හරිම උනන්දුය. ‘සම්’ කියන අකුර දෙක පිට වෙන විටම ත්‍රිරෝදකරුවන් සුටුස්‌ ගාලා පොට්‌ එකට බස්‌සන්නේය. ගනුදෙනුකරුවෙක්‌ රැගෙන එනවාට ත්‍රිරෝදකරුට සම්බාහන මධ්‍යස්‌ථානයෙන් වෙනම ගාණක්‌ ගෙවන්නේය. ඔහුට දෙන මුදල ද අය වෙන්නේ ගනුදෙනුකරුගෙන්ය. සම්බාහන ගුබ්බෑයම්වල සේවය කර රාත්‍රියට එළියට එන සම්බාහිකාවන් ‘ඩීල්’ කරන පිම්පි ජොබ් එක කරන්නේ ද ත්‍රිරෝදරථකරුවන් බව දැනගන්න ලැබේ. ඇතැම් ත්‍රිරෝද රථකරුවන් පවසන්නේ දවල් කාලයේ ගෙදර වැඩක්‌ පළක්‌ කරගෙන හවස පාක්‌ එකට ඇවිත් ‘ස්‌පා’ එකේ කෙල්ලෙක්‌ එක්‌ක හයර් එකක්‌ ගිහාම දවසටම ප්‍රමාණවත් කියාය. මේ එවැනි ත්‍රිරෝදකරුවෙක්‌ අපට කියූ කතාවකි.
”අනුරාධපුර නගරයේ ඉන්න තරමක්‌ ඉන්නේ පිට පළාත්වලින් එන අය. වන්දනාවේ එන බැතිමතුන්. රාජ්‍ය ආයතනවල වැඩ කරන නිලධාරීන්, ඉදිකිරීම් කටයුතුවලට නගරයට ඇවිත් සිටින කාර්මික ශිල්පීන්, අත්උදව්කරුවන් මේ සේරම හවසට නගරයට එනවා. ඒ හැම කෙනෙක්‌ම බලන්නේ මසාඡ් කෑල්ලක්‌ එළියට පන්නගෙන යන්න තමයි. ඔය සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩ කරන සේරම ගෑනු පිට වැඩවලට යනවා. හුඟ දෙනෙක්‌ රෑට එළියේම තමයි. ඒත් මල් කුඩ ඉහළගෙන පාර අයින්වල වේළෙන්නේ නෑ. සුපිරි ගණන්වලට සුපිරි හෝටල්වලට තමයි යන්නේ. පෙර දැන, හැඳුනුම්කම් මත විශ්වාසවන්ත තැන්වලට විතරයි යන්න එන්නේa. ‘ස්‌පා’ එකක ගෑනු කෙනෙක්‌ එක්‌ක ගිහින් වැඩිපුර කීයක්‌ හරි හොයාගන්න එක ඇත්ත. ඒත් අනුරාධපුරේ උපන් මිනිස්‌සු හැටියට අපි මේ වැඩවලට කැමැති නෑ. අනුරාධපුරය දියුණු වුණේ, ලෝකය පුරා ජනප්‍රිය වුණේ සිරිමා බෝධිය නිසා. මේ වගේ ගුබ්බෑයම්වලින් කෙළෙසෙන්නේ අපේ නගරය. දැනටමත් අනුරාධපුර නගරය ගණිකා තිප්පොලක්‌ බව මුළු රටේම ප්‍රසිද්ධ රහසක්‌. දැම්ම මේ දේවල් නතර නොකරන්න අනාගතයේදී ප්‍රසිද්ධියේ වීදුරු කාමරවල ගෑනු විකුණන තත්ත්වයට පත්වෙනවා…” මෙරට ඉතිහාසයේ කැඩපතක්‌ බඳු අනුරාධපුරය ගැන ඔහුට සැබෑ කැක්‌කුම ඇති බව කියෑවේ. එහෙත් ඔහු රුපියල් ශතවලට ඇති ගිජුකම නිසා උපන් නගරයට ඇති ආදරය වචනයට සීමා කර ඇත. නගරය පුරා සිදු වන අවකෙළි ගැන හඬක්‌ නැඟීමට ශක්‌තියක්‌ වීමට ඔහු අකැමැතිය.
අනුරාධපුර නගරයේ සහ ඒ ආශ්‍රිත නගරවල පවතින නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්‌ථාන මෑත කාලෙයේදී කිහිප වතාවක්‌ම පොලිසිය විසින් වැටලීම් කර එම සම්බාහන මධ්‍යස්‌ථානවල හිමිකරුවන් සහ සම්බාහිකාවන් අත්අඩංගුවට ගත් අවස්‌ථා වාර්තා විය. අනුරාධපුර පොලිසිය විසින් එක්‌ අවස්‌ථාවක විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර අනුරාධපුර නගරයේ සියලුම සම්බාහන මධ්‍යස්‌ථාන එකම වේලාවක වැටලීම් කර කාන්තාවන් විස්‌සකට අධික සංඛ්‍යාවක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. එමෙන්ම උතුරුමැද පළාතේ ඉහළ පොලිස්‌ නිලධාරීන් සියලු දෙනා ඒකමතිකව තීරණය කර ඇත්තේ අනුරාධපුරයේ සම්බාහන මධ්‍යස්‌ථාන නොතිබිය යුතුයි කියන බවය. දැනට වැඩබලන අනුරාධපුර පොලිසියේ ස්‌ථානාධිපතිවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ ඔහු අනුරාධපුරයේ රාජකාරි කරන කාලය තුළ පූජා නගර සීමාව තුළ තිබෙන සියලු සම්බාහන මධ්‍යස්‌ථාන ඉවත් කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්‌ම ගන්නා බවය. එමෙන්ම සම්බාහන මධ්‍යස්‌ථාන නිරන්තරයෙන්ම වැටලීම් කරන බව ද ස්‌ථානාධිපතිවරයා පවසා තිබිණි. එහෙත් නීතියේ අඩුලුහුඬු කම් ප්‍රයෝජනයට ගන්නා සම්බාහන මධ්‍යස්‌ථාන හිමිකරුවන් පොලිස්‌ වැටලීම්වලට මුහුණදෙමින් සම්බාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යති.
සම්බාහන මධ්‍යස්‌ථාන අනුරාධපුරයට පමණක්‌ සීමා වූවක්‌ නොවේ. කොළඹ සහ ඒ ආශ්‍රිත නගරවල මෙන්ම විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශවල ද සම්බාහන මධ්‍යස්‌ථාන හතු පිපුණු ගානටය. රටට සම්බාහන මධ්‍යස්‌ථාන අකැපයි කියා අපි නොකියමු. සංචාරක කර්මාන්තයත් සමඟ පෙරට යැමට පිඹුරුපත් සකසන රටකට අනිවාර්යයෙන්ම සම්බාහනය අවැසිය. දේශීය වෛද්‍ය ක්‍රමවලට අනුව සම්බාහන වෙදකම බලාපොරොත්තුවෙන්ම මෙරටට එන සංචාරකයෝ සිටිති. එමෙන්ම සම්බාහනය දේශීය වෙදකමේ එන ප්‍රතිකාර ක්‍රමයක්‌ බැවින් විවිධ ශාරීරික අපහසුතා ඇති පුද්ගලයන්ට සම්බාහන ලබාගැනීමට සම්බාහන මධ්‍යස්‌ථාන තිබිය යුතුය. ආයුර්වේද සහ හෝමියෝපති ක්‍රමය, බෙහෙත් ඔරු, පංචකර්ම නිල ඇල්ලීම් ආදී සම්බාහන වෙදකමට සමාජය තුළ ඉහළ ඉල්ලුමක්‌ ඇති බව ද රහසක්‌ නොවේ. සිරිමා බෝධිය වැඩ සිටින අනුරාධපුරයේත්, දාළදා හාමුදුරුවන් වැඩ සිටින මහනුවරත් දේශීය සම්බාහන වෙදකම් සහිත මධ්‍යස්‌ථාන විවෘතව තිබීමේ වරදක්‌ නැත. විය යුත්තේ රටේ නීතියට යටත්ව විනයක්‌ සහිතව එම සම්බාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැමය. එසේ නොමැතිව ‘වෙදකමක’ තිරපටින් වසා ගණිකා තිප්පොළවල් පවත්වාගෙන යැම නොවේ.

No comments