අලුත් ජම්බු

මගේ ගීතය රැල්ලට හසුවුණේ නෑ





මුලින්ම අභිෂේකාගේ අලුත්ම ගීතය ගැන කතා කරමු?
මේ ගීතය නම් කරලා තියෙන්නේ නිස්සාර කියලයි. මෙය සංගීතවත් කළේ දිළුම් තේජාන් හෙට්ටිආරච්චි. ගීතය රූප රචනා කළෙත් ගායනා කරන්නෙත්් මමමයි.
ඇයි මේ ගීතයට නිස්සාර කියලා නම යෙදුවේ?
මේ ගීතයෙන් කියැවෙන්නේ ජීවිතයේ හා ආදරයේ නිස්සාර බව ගැන. ඒකයි හේතුව.
කොයි තරම් ගුණාත්මක ගීතයක් කළත් ඊට රූප රචනාවක් එකතු කිරීම අද ප්‍රවණතාවක් බවට පත් වෙලා. ඒ රූප රචනා සමහර වෙලාවට ගීතයට විතරක් නමෛයි සමාජයටත් හානි කරන අවස්ථා තියෙනවා නේද?
ඒ කතාව මමත් පිළිගන්නවා. මමත් මගේ ගීතය රූප රචනාවක් සමගින් පහුගිය 21 වැනිදා එළි දැක්වුවා. යූ ටියුබ් හරහා එය නරඹන්න පුළුවන්. මෑත කාලයේ රූප රචනා තුළ විවිධ රැලි බිහිවන හැටි මමත් දැක්කා. මල් සින්දු, ගෑනු ළමයින්ගේ ශරීරය පෙන්වන රූප රචනා සහිත ගීත යම් යම් චරිතවලට අපහාස කරමින්  කළ ගීත රූප රචනා මේ අතර තිබුණා. මගේ ගීතයවත් රූප රචනාවවත් ඒ රැලිවලට අදාළ නැහැ. මේ සඳහා මම තෝරා ගත්තේ අලුත්ම තේමාවක් හා අලුත්ම නළු නිළි යුවළක්. එය නැරඹුවොත් එහි ඇති වෙනස පෙනෙයි.
අභිෂේකා අලුත් ගීතයක් කළේ වසර දෙකකට පස්සෙයි. ඇයි අලුත් නිර්මාණයක් කරන්න ප්‍රමාද වුණේ?
මම ගායනයට ‍නෙවෙයි මගේ ව්‍යාපාරවලටයි මුල් තැන දෙන්නේ. ඒ හින්දා මම ගීත ගයන්නේ තෝරා බේරාගෙන. නිස්සාර ගීතය පටිගත කරලා කාලයක් වෙනවා. මගේ තාත්තා කිව්වා මගේ ගීත අතුරින් තාත්තා කැමතිම ගීතය මේක කියලා. තාත්තාගේ අභාවයත් එක්ක ඇති වූ කම්පනයත් ගීතය එළි දක්වන්න පමා කරන්න හේතු වුණා.
මේ දිනවල ඔබ ජූනියර් සුපර් ස්ටාර් විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරනවා?
ඔව්. ගොඩක් සතුටින් ඒ අවස්ථාවට මුහුණ දෙනවා. මුල් දවස්වල මට යම් යම් අයහපත් විවේචන ආවා. දැන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තරගය තුළදී මම කියන දේවල්වලට ගොඩක් අය කැමතියි. මගේ තාත්තා තමයි ඒ හැමදේම මට කියලා දුන්නේ.
තරග බිම තුළදී තරග කරුවන් සම්බන්ධව අමතක නොවන සිදුවීම් නැද්ද?
මෙහි තරග කරුවන් ජීවිතේ සංක්‍රාන්ති සමයක් ගත කරන අය. ඔවුන් ළමයිනුත් නොවෙයි. වැඩිහිටියනුත් ‍නෙවෙයි. හරිම සෘජු තීරණ ගන්න සංවේදී හිත් ඇති අය. අපේ එක වචනයකින් මානසිකව වැටෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඔවුන් සමග ගනුදෙනු කරද්දී හරි පරිස්සම් වෙනවා. ඇතැම් තරුණ හා වැඩිහිටි අය තරග වදින රියැලිටි තරගවලදී පරාජය දරාගන්න බැරි අය විනිසුරු මඩුල්ලටත් බැණලා අඬලා කෑ කෝ ගහන අවස්ථා මා දැක තියෙනවා. මේ තරගයේදීනම් එහෙම වෙන්නේ නැහැ. මේ ළමයි තුළ තියෙන විනය හැදියාව සහ දරා ගැනීමේ ශක්තිය මා අගය කරනවා.
ඒත් රියැලිටි තරගවලින් එන අය පවතින්නේ නැති බවට ඇතැමුන් චෝදනා නගනවා. තරග විනිසුරුවරුන් මතු කරන්නේ සැබෑ දක්ෂයින්ද කියන ගැටලුවත් මෙහිදී පැන නගිනවා.
රියැලිටි තරගවලින් ඇවිත් නැතිවෙලා ගිය අය වගේම පවතින අයත් ඉන්නවා. ප්‍රදීප් රංගන එවැන්නෙක්. ඔහු ගායනය වගේම තමන්ගේ වෘත්තියත් සාමාන්‍ය ජීවිතයත් සාර්ථකව පවත්වාගන යන කෙනෙක්. රියැලිටි තරගයෙන් එන අයට එක රැයින් අසීමිත ජනප්‍රියත්වයක් වගේම විශාල මූල්‍යමය වටිනාකමක් ලැබෙනවා. ඒක දරාගන්න පුළුවන් බුද්ධි මට්ටම හා නිහතමානීකමක්ද තරගකරුවන්ට තිබිය යුතුයි. මහ ‍පොළොවේ ජීවත් විය යුතුයි. ඒ තත්ත්වය රැක ගන්න බැරි වූ අයයි හිටිහැටියේ නැතිවෙලා යන්නේ.

No comments