අලුත් ජම්බු

අලි ඇතුන් 1400ක් ඝාතනය කල අදටත් හෙණ වදින රොජර්ගේ සොහොනේ අභිරහස


ලංකාවේ අලි ඇතුන් දඩයම කෙරෙහි නම් දරා සිටි මේජර් තෝමස් විලියම් රොජර්ගෙන් මැරුම් කෑ අලින් 1400 ඉක්මවයි. මේ සෙල්ලමේ දී ඔහුගේ ජීවිතය කෙස් ගහෙන් බේරුණු අවස්ථා බොහෝය.

රොජර් වරක් අලියකුට තැබූ වෙඩිල්ල උගේ සිරුරේ පසෙකින් සම තුවාල කරගෙන ඉවතට ගියේය. වේදනාවෙන් වියරු වැටුණ දැවැන්තයා හොඬ ඔසොවා ගත්තේය. ප්‍රහාරයට සූදානම් වීමක් වශයෙන් බියකරු කුංචනාදයක් නැඟුවේය. විදුලිය සේ පෙරට පැන රොජර්ව සොඬෙන් තරයේ ගත්තේය. මඳ දුරක් රැගෙන ගොස් කුඩා වළක් තුළට වීසිකොට පෑගුවේය. රොජර්ගේ දකුණු අත දෙපොළකින් ද, ඉළ ඇට කීපයක් ද බිඳී ගියේය. රොජර් වැටුණු වළේ කුඩාකම නිසා දැවැන්තයාට සිය පාදයේ සම්පූර්ණ ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි විය. ඒ නිසා පණ බේරුණි.

ඔහු සමඟ අලි දඩයමේ පැමිණි සගයන් ඔහු වෙත එද්දී ඔහු සිහිසුන්ව සිටියේය. මොහොතකින් පියවි සිහිය ලැබිණ. අලියා තමා ඔසොවාගෙන අවුත් වළ තුළට දමා පාගන තෙක්ම තමාට හොඳ සිහිය තිබුණ බව පවසන රොජර් පළා යන්නට හෝ ගැලවී ගන්නට දරන ප්‍රයත්නය මරණයට ඉක්මන් කර ගැනීමක් සේ හැඟුණ හෙයින් තමන් මළාක් සේ සිටියේය.

මොහුගේ මරණය ඛේදජනකය. විශ්මය ජනකය. 1846 ජූනි 7 දා රොජර් ඔහුගේ මිතුරකු ද මිතුරාගේ බිරිය ද කැටුව රට ඇතුළත සංචාරයේ යෙදී සිටියදී තානායමකට ගොඩවැදුණේය. සා පිපාසාව මඟහරවාගෙන නැවත ගමන ආරම්භ කිරීම අරමුණ විය. මොහොතකින් අකුණු විදුලි සහිත මහ වැස්ක් ඇදහැලුණි. ඒ නිසා වැඩි වේලාවක් තානායමේ ප්‍රමාද වන්නට සිදු විය. වැස්ස පායා හිරු ඉක්මනින්ම පායා ආවේය. ගමනට සූදානම්ව රොජර් තානායමේ ආලින්දයට පා තැබුවා පමණි. ඒ සමඟම දීප්තිමත් විදුලියක් කොටා හාත්පස දෙදරවා මේඝ ගර්ජනාවක් නැඟුණි. සගයෝ තරමක් ප්‍රමාද වී යමුයි කීහ. රොජර්ගෙන් පිළිතුරක් නැති නිසා යළි ආලින්දයට ආහ. රොජර්ගේ නිසල දේහය තානායමේ ආලින්දයේ වැතිර තිබිණ. හෙණ පහරක්  නිසා ඔහු මැරී තිබුණි.

රොජර්ගේ සොහොනට අද ද අකුණු සැර එල්ල වන අතර මේ දක්වා එයට එල්ල වී ඇති අකුණු ප්‍රහාර සංඛ්‍යාව දහසකට වඩා බව වාර්ථාවන්හි දැක්වෙනවා.

No comments