අලුත් ජම්බු

මම ටියුෂන් කළා. පාරවල්වල ගිහින් ඇන්ටනා වික්කා


* ලක්මාල්… කියමුකෝ… ඔයාගේ ගම්පළාත සහ ළමාකාලය කොහොමද… ගෙවුනේ…?
මම අද කොළඹ ජීවත් වුණාට කොළඹ ඉඳන් කිලෝමීටර් 260 ක් දුරින් තියෙන ගල්ගමුව මීගලෑව කියන ප්‍රදේශයේ තමයි මුලින්ම ජීවත්වුණේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. තාත්තා විදුහල්පතිවරයෙක් විදිහට ජීවිතේ අවසන් කාලයේදීත් සේවය කළා. මට ඉන්නේ මල්ලියි, නංගියි විතරයි. මම A/L  පන්තියේදි මගේ තාත්තා ජීවිතේ ඇතිවුණු යම් යම් හේතුන් නිසා සියදිවි හානි කරගත්තා.
* තාත්තා නැතිවුණාම ජීවිතේ බර ලක්මාල්ට වැඩිමලා හැටියට නිතැතින්ම ලැබුණා…? එහෙමනේද?
ඔව්… මම A/L වලට කළේ විද්‍යාව. පුංචිකාලයේ ඉඳන් මගේ ලොකුම ආසාව වුණේ දොස්තර කෙනෙක් වෙන්නයි. ඒත් මට මගේ හීනයට යන්න බැරිවුණා. විශ්ව විද්‍යාලයට යන්න මට දශම ගාණක් මදිවුණා. මගේ අම්මත් ගුරුවරියක්. ඒත් පවුලේ බර මට යම් දුරකට පැටවුණා. ඒ නිසා මම ටියුෂන් කළා. පාරවල්වල ගිහින් ඇන්ටනා වික්කා. ඒ හැමදේකින්ම මගේ ලොකුම ආසාව වුණේ මගේ මල්ලිවයි, නංගිවයි මම නොදැකපු හීනයට යවන්නයි. ඒ දෙන්නට හොඳට උගන්වන්න මට ලොකු හීනයක් තිබුණා. පුංචි කාලෙ ඉඳන් මගේ මහ ගොන් උද්දච්චකමක් තිබුණා.
* පුංචි කාලේ ඉඳන් ලක්මාල් කලාවට කැමැත්තක් තිබුණාද…?
ඔව්… ඒකට ලොකුම හේතුව වුනේ මගේ තාත්තා… මගේ තාත්තා රජරට සේවයට කවි, ගීත ලිව්වා. තාත්තා හොඳ නිවේදකයෙක්. අපේ තාත්තට තඩි පුස්තකාලයක් තිබුණා. ඒකේ නැති පොතක් නැති තරම්. තාත්තා හරි ලස්සනට නිසදැස් ලිව්වා, උදේ පාන්දරම නැගිටලා තාත්තා පත්තරේ හැම අකුරක්ම කියෙව්වා. මම හිතන්නේ ඒ දැක්ම තමයි පසුකාලීනව මට බලපෑවේ. තාත්තා නැතිවෙනවාත් එක්කම සමහර දේවල් නැතිවෙලා ගියා. තාත්තා දේශපාලනය කරපු නිසා තාත්තා දේශපාලන පලිගැනීම්වලට ලක්වුණා. ඒනිසා මගේ ලෝකයේ වීරයා වුණේ මගේ තාත්තා.
* පාරේ ඇන්ටනා විකුණපු ලක්මාල් ටික කාලයකින් හොඳ රස්සාවකුත් කළා නේද…?
ඔව්… ඒ ලංකාවේ ඉතා දක්ෂ ඉන්ෂුවරන්ස් සමාගමක හොඳ තනතුරක් ලැබුවා. ඒකාලේ ටයි එක දාලා හොඳ රැකියාවක් කළේ. හැබැයි ඒක මට වදයක් වුණා. ටයි දාගෙන කැරකෙන පුටුවක ජොබ් එකක් කරන්නට මට හිත වද දුන්නා. සමහර වෙලාවට මම ටයි එක බාගෙට ගලවගෙන, ෂර්ට් එකේ අත් නවාගෙන ඔෆිස් එකේ හිටියා. මේ නිසා සමහරු මා ගැන ඉහළ නිලධාරීන්ට වාර්තා කළා. මේක මට වදයක් වුණා.
* ඊළඟට ලක්මාල් මොනවද කළේ…?
මෙහෙම රැකියාව කරන අතරතුරේදී වාසල බණ්ඩාර මුණගැහුණා. ඒ කාලේ මට ලොකු උණක් තිබුණා කලාවේ ඉන්න කෙනෙක්ගේ යාළුවෙක් වෙන්න. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඒ කාලේ වාසල උදයකාන්ත මහතා එක්ක වැඩකර කර හිටියේ. ඉතින් මට වාසල හොඳ චාන්ස් එකක් අරගෙන දුන්නා.
* ඒ කියන්නේ ලක්මාල් අර හොඳට මුදල් ලැබුණ රැකියාවෙන් ඉවත් වුණාද…?
ඔව්… ඒකෙන් මම හොඳ සැලරි එකක් ලැබුණා. ඒත්… කලාව නිසා මම ඒ සේවාවෙන් අයින් වුණා. මම මුලින්ම තුන්වන සහාය අධ්‍යක්ෂක විදිහට රුපියල් දෙසිය පනහට වැඩකළා. දවසට ලැබුණේ රුපියල් දෙසිය පනහයි. ඒකත් වැඩ කරපු දවස් වලට විතරයි. මාස ගාණක් වැඩකරලා ලැබෙන්නේ රුපියල් දහදාහක් වගේ ගාණක්. හැබැයි ඉන්ෂුවරන්ස් සමාගමෙන් එක මාසෙකට මම ඊට වඩා ගත්තා. හැබැයි එතන මගේ සතුට තිබුණේ නෑ. පුංචි කාලයේ ඉඳන් මට පොඩි උද්දච්චකමක් තිබුණා. ඒ කාලයේ Short Film  කළා. හැබැයි ඒක මම තරගයකටවත් දැම්මේ නෑ. ඒක ගොන් උද්දච්චකමක් කියලා අදටත් මම දන්නවා. මම තරග කරන්න ආස නෑ. ඒ නිසා මම ඒ දේවල් මම පුළුවන් විදිහට තනියම ඉගෙනගත්තා. ඒ වැඩකරලා මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම දැනගෙන හිටියා මම හොඳට ලියන්න පුළුවන් කියලා. මගේ තියන උනන්දුව නිසාම මම සහභාගී වුණ හැම නිර්මාණයකින්ම මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගැනීමත් එක්ක මම ඉක්මනටම සහය අධ්‍යක්ෂවරයෙක් වුණා. ඒ කාලය තුළ මම ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වැනි ප්‍රවීණයන් යටතේ සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩකළා. ඒ රස්තියාදුවා මට ලෝකය ගැනම කියලා දුන්නා
* ජීවිතය වෙනස් කළ යාළුවෝ ඔයාටත් හිටියද ?
ඔහොම කාලයක් ගෙවෙද්දී මට දමිත චන්ද්‍රසිරිව මුණගැහුණා. ඒ මූණගැහීමත් හරි අපූරුයි. දමිත එංගලන්තයේ කාලයක් හිටියා. මම රුපියල් පන්සීයක් වියදම් කරලා Short Film  එකක් කළා. ඒක EDIT කරගන්න එකෙක් හිටියේ නෑ. කට්ටිය හිටියට වියදම් කරන්න මගේ අතේ සල්ලි තිබුණේ නෑ. ඒ අතරේ මගේ යාළුවෙක් දමිතව මට හඳුන්වලා දුන්නා. හැබැයි දමිතව මුණගැහෙන්න කලින් මම දමිතට කෝල් කළා. මම ඒ කාලයේ පට්ට උද්දච්ච කෙනෙක්. ඒ නිසා මචං Short Film  එකක් EDIT කරගන්න උඹ කීයක් ගන්නවාද කියලා ඇහුවා. ඌත් ඒ වර්ග‍ෙය්ම එකෙක්. උඹේ Short Film  එකේ බජට් එක කීයද…? මගේ උත්තරය රුපියල් පන්සීයයි ඊළඟට ඌ එක කුණුහරුපයකුත් කියලා… ඕකත් අරන් වරෙන් කිව්වා. එහෙම තමයි දමිතව මට හම්බ වුණේ.
* රුපියල් පන්සීයේ Short Film  එක ඊට පස්සේ කළාද…?
නැහැනේ. ඒ මුණගැහිමෙන් පස්සේ දමිතයි මායි බොහෝ දේවල් කතා කළා. දමිතගෙන් මම මේ මුළු ලෝකයම දැක්කා. ඒ කාලයේ මම රටවල්වලට ගිහින් තිබුණේ නෑ. දමිත රටවල්වල රස්තියාදු ගහලයි තිබුණේ. ඒ රස්තියාදුවා අපිට හරිම ප්‍රයෝජනවත් වුණා. දමිතගෙන් මම ලෝක සිනමාව ඉගෙන ගත්තා. දමිත තමයි මට මගේ කලා පාසල වුණේ. දමිත හරහා මම බොහෝ පොත්පත් කියෙව්වා. ඒ හැමදෙයක්ම කරද්දි මම සහාය අධ්‍යක්ෂවරයකු විදිහටත් එක් එක්කෙනා ළඟ වැඩකළා. ඒ අතරේ මල්ලි නීතිඥ කෙනෙක් වුණා. මගේ නංගි ගුරුවරියක් වුණා. ඉතින් ඒ ගැනත් මට සතුටුයි.
* ලක්මාල්ගෙයි, දමිතගෙයි ආසාවවෙලා තිබුණේ සිනමා නිර්මාණයක් නේද…?
ඔව්… ඇත්තටම ඔව්. මායි දමිතයි අපි දෙන්නගේ අතේ තිබුණ අන්තිම රුපියල් තුන්දාස් පන්සිය වියදම් කරලා එකෙකුට බොන්න අරන් දුන්නා. ඌ ලවා නිෂ්පාදකවරයෙක් හොයා ගන්න අපිට ඕන වුණා. අන්තිමට ඒ උත්සාහයත් අපෙන් අතහැරුණා. ඊට පස්සේ මම වෙළඳ දැන්වීම් කලාවට එකතු වුණා. ඒකෙන් මට සල්ලි හම්බ වුණා. හොඳ වෙළඳ දැන්වීම් ආයතනයක හොඳ වැටුපක රස්සාව කර කර ඉඳිද්දී තව නිෂ්පාදකවරයෙක් අපේ වැඩේට කැමති වුණා. ආයෙත් මම රස්සාවෙන් අයින්වෙලා වැඩේ කරන්න හදද්දී අර නිෂ්පාදකවරයා අපිට පොල්ල තිබ්බා. අන්තිමට මට රස්සාවක් නෑ. ඒ කාලේ මට වියදම් කළේ ගෙදරට වියදම් කළේ මගේ මල්ලී. ආයෙමත් මාව නරකම තැනට වැටුණා. අතේ සතේ නෑ. ඒත් මම දැනගත්තා කවදාහරි මට නැගිටින්න පුළුවන් වේවි කියලා. මේක මැරතන් එකක්. මම දැනගෙන හිටියා මැරතන් එන අවසන් කරන්න අමාරු වුණාට මම ඒක අතරමඟ නවතින්නේ නෑ කියලා. ඒ කාලේ අපිව කවුරුත් ගණන් ගන්නේ නෑ. හැබැයි අපිට ඉලක්කයක් තිබුණා.
* කූඹියෝ චරිත තෝරාගත්තේ කොහොමද… ?
ලියද්දීම මගේ හිතේ තුමිඳුව මැව්නා. මම තුමිඳු රඟපාපු අරුන්දතී වේදිකා නාට්‍යය බලලා තිබුණා. අනික තුමිඳුගේ පෙනුමට මෙන්ම ඔහුගේ රඟපෑමට මම කැමති වුණා. ඊළඟට ප්‍රියන්තගේ චරිතයට වෙනත් නළුවෙක් මගේ ඔළුවේ හිටියා. හැබැයි දමිත් ඇයි අපි කළණයා ගැන හිතන්නේ නැත්තේ කියලා ඇහුවා. ඒ කාලේ කළණ මගේ ළඟ යාළුවෙක් නෙමේ. හැබැයි කළණ ඉතා දක්ෂ නළුවෙක් කියලා මම දන්නවා. දවසක් මම කළණට මේ කතාව කියද්දී ඒ පොඩි කතාව ඇතුළේදීම කළණට කතාවම තේරුණා. ඒක මට ලොකු හයියක් වුණා
* කූඹියෝ ඇතුළේ ඔබ මවන්නේ සම්ප්‍රදායික ගැහැනියක් නොවේ…?
ඔව්… ඒක ඇත්ත… මම කොහොමටත් සම්ප්‍රදායික ගැහැනියට කැමති නෑ. කොණ්ඩෙ දිග, චීත්ත ගවුම අඳින ගැහැනියට පෞද්ගලිකව මම කැමති නෑ. ගැහැනියකුගෙයි, මිනිසෙකුගෙයි ලිංගික වෙනසක් මිසක් වෙනත් වෙනසක් නෑ. ගැහැනියකුටත් පුළුවන් මිනිහෙක්ගේ බෙල්ල මිරිකලා මරන්න. මම හැමවෙලේම උත්සාහ කළේ ඒ සම්ප්‍රදායික රාමුව බිඳින්න. මේ හිරැනිගේ චරිතය මම ලිව්වේ පස්සේ. ඒ හිරුණිගේ චරිතයට ලියන්නේ කවුද කියලා මම බැලුවා. මට ඕනවුණා හැමවෙලේම චැලේන්ජ් කරන චරිතයක්. ඒ විදිහට තමයි මගේ හිතට හිරුණි වෙනුවෙන් යුරේනිව මැව්නේ. මම දැනගෙන හිටියා යුරේනි කියන්නේ ඉතා දක්ෂ නිළියක් කියලා.
* සම්ප්‍රදායික ගැහැනියකට අකමැති ලක්මාල් අද දෙදරු පියෙක්. ?
ඔව්… ඒක ඇත්ත… චමරි වෙළඳ දැන්වීම් කලාවට සම්බන්ධ කෙනෙක්. ඉස්සර චමරි මගේ හොඳම යාළුවෙක්. ඒ කාලේ මගේ ආදර සම්බන්ධතාවලට මම සල්ලි ඉල්ලගත්තේ චමරිගෙන්. හැබැයි ඒ හැම කෙල්ලෙක්ම මාව දාලා ගියා. සමහරු ගියේ මගේ අතේ සල්ලි නැතිකමින්. හැබැයි ඒ හැම වෙලේම චමරි මාව යාළුවෙක් වගේ බලාගත්තා. මට වියදම් කළා. මාව පරිස්සම් කළා. දවසක් මට තේරුණා ඇයි මම චමරි ගැන හිතන්නේ නැත්තේ කියලා එහෙම හිතලා මම දවසක් චමරිව මුණගැහිලා අපි බඳිමුද කියලා ඇහුවා. එදා චමරි උඩ ගිහින් බිම වැටුණා. ඇත්තටම චමරි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මාව තේරුම් ගත්තු හොඳම කෙනා එයායි. අද මම දරුවන් දෙන්නෙක්ගේ පියෙක්.
උපුටා ගැනීම: දේශය පුවත්පත.

No comments