අලුත් ජම්බු

මම මැරුණේ නෑ..තාම ඉන්නවා




චරිත බිහිවන්නේ තරු අතරින් නොවේ. සහෘදයාගේ ආදරය මතිනි. කාලය ගෙවී ගිය ද චරිතයෙහි වටිනාකම් හීන වන්නේ නැත. තරු මිලින වුව ද චරිත මිලින වන්නේ නැත. සුමින්ද සිරිසේන නම් වූ අසහාය රංගධරයා ලාංකේය කලා කෙතෙහි මිලින වූ තරුවක් නොව සහෘද සන්තානයෙහි සදාතනික චරිතයක් බවට පත් වන්නේ ද එහෙයිනි. මේ ඒ සදාතනික සුමින්ද සිරිසේනයන් සමඟ ගෙවුණු විනාඩි කිහිපයකි.


සුමින්ද සිරිසේන කියන රංගන ශිල්පියාගේ රංගන ගමන ආරම්භ වුණේ කොහොමද?
පුස්සැල්ල මහා විිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වයක් ලැබිලා තෝලංගමුවට ආවා. මම ඉගෙනගත්ත තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ වේදිකාව තමයි මගේ රංගන ජීවිතයේ ආරම්භය.

මුල්ම රඟපෑම ගැන මතකය මොන වගේද?
තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂයය ඉගැන්වීම් කළේ ප්‍රවීණ විචාරකයෙක් වන ආරියවංශ රණවීර මහත්තයා. එතුමා සීගිරි කාශ්‍යප කතාවෙන් ගිරිකූඨ කියලා නාට්‍යයක් කළා. ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ පාසලේ සංගීත ගුරුවරයා විදිහට හිටපු දයා අල්විස් මහත්තයා. ඒ නාට්‍යයේ කාශ්‍යපගේ චරිතයට මාව තෝරගත්තා. නාට්‍යයත් පාසලේ විතරක් නෙවෙයි අනෙක් පාසල්වලත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒක තමයි මුල්ම රංගනය.

රංගනයට එකවරම පිවිසෙන්නේ නෑ. ඒකට අඩිතාලමක් තිබිය යුතුයි. ඔබේ අඩිතාලම සකස් වුණේ කොයි විදිහටද?
අපේ ගෙදර ඒ කාලේ නාට්‍ය මඩුවක් වගේ තැනක්. තාත්තා ගෙදර සඳකිඳුරු නාට්‍යය කරනවා. එතකොට අපිත් ඉතින් කට ඇරගෙන බලන් ඉන්නවා. ඒකත් එක්ක තමයි රඟපාන්න ආස හිතුණේ. ඒ ආසාව තමයි පාසලේ වේදිකාවට මාව අරන් ගියේ.

රඟපෑමේ දක්‍ෂතාවය නිසාම පාසල් කාලෙදිම ඔබ පෙම්වතෙක් වෙනවා?
ඔව්. ලීලා. මගේ පන්තියට පහළ පන්තියේ තමයි ඉගෙන ගත්තේ. ඒ ආදරය තමයි පස්සේ කාලෙක විවාහය බවට පත් වුණේ. අදටත් මගේ දුකටත් සතුටටත් මගේ හෙවනැල්ල වගේ ඉන්නේ ලීලා තමයි.

පාසල් වේදිකාවෙන් පස්සේ ?
ධම්ම ජාගොඩ මහත්තයගේ රංගන විද්‍යාලෙට සම්බන්ධ වෙලා රංගනය ගැන ඉගෙන ගත්තා. ඒ වෙද්දි තමයි මුහුදු පුත්තු කියන වේදිකා නාට්‍ය නිෂ්පාදනය වුණේ. ඒ නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය රඟපාන්න මට අවස්ථාව උදා වුණා. ඊට පස්සේ එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයගේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙලා ඒකෙ පොතේ ගුරු විදිහට කටයුතු කළා. මට පාසල් කාලේ රඟපාන්න වගේම ගීත ගායනයෙත් හැකියාව තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි පොතේ ගුරු විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

කවුද ඔබව මනමේ නාට්‍යයට තෝරගත්තේ?
ධම්ම ජාගොඩ මහත්තයම තමයි මාව තෝර ගත්තේ. පස්සේ සරත්චන්ද්‍ර මහත්තයත් ඒකට කැමති වුණා.

ඒ වෙද්දි කවුද සමකාලීනයො විදිහට හිටියේ?
රවීන්ද්‍ර රන්දෙණිය. එයාගෙත් මුල්ම නාට්‍යය තමයි මූදු පුත්තු. ඊට පස්සේ වෙස් මුහුණු කියන නාට්‍යයෙත් අපි දෙන්නා එකට රඟපෑවා.

ඒත් ඔබට වඩා ඉක්මණින් රවීන්ද්‍ර රන්දෙණිය ජනප්‍රිය වෙනවා?
ඔව්. මුහුදු පුත්තු නාට්‍යයේ දියෝනිස්ගේ චරිතය මමයි රවීන්ද්‍ර රන්දෙණියයි මාරුවෙන් මාරුවට තමයි කළේ. එක දවසක් මුහුදු පුත්තු නාට්‍යය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ඇවිත් හිටියා. එදා දියෝනිස්ගේ චරිතය කළේ රවීන්ද්‍ර රන්දෙණිය. ඒ රඟපෑමේ දක්‍ෂතාව දැකලා තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයගේ චිත්‍රපටයට රවීන්ද්‍ර රන්දෙණිය සම්බන්ධ වෙලා තියෙන්නෙ.

එදා ඔබ ඒ චරිතය කළා නම් සමහර විට ඔබට ඒ අවස්ථාව ලැබෙන්න තිබුණා?
ඒක කියන්න බෑ. මම ඒ තරම් ලස්සන කෙනෙකුත් නෙවෙයිනේ. රවීන්ද්‍ර ලස්සනයි. ඒ නිසා එයාට ඒ අවස්ථාව ලැබුණා.

ඔය නාට්‍ය අතරේ රසබර සිදුවීම් ගොඩක් ඇති?
අම්මෝ. රස බර අමතක නොවෙන සිදුවීම් නම් ඉතින් ඕන තරම් තියෙනවා. එහෙම එකක් කියන්නම්. මේක ජයලත් මනෝරත්න මහත්තයත් එක්ක රඟපාද්දි වෙච්ච සිද්ධියක්. එහි එක චරිතයක් කරපු නලූවෙකුට අසනීප වෙලා එදා දර්ශනයට එන්න බැරි වුණා. රංජන් ධර්මකීර්ති මහත්තයා තමයි නාට්‍යයේ නිෂ්පාදකවරයා. එයා අර අඩු වුණ නළුවගෙ චරිතෙට ආධුනික නළුවෙක් තෝරගෙන තිබුණා. එයා කවදාවත් අපිත් එක්ක රඟපාපු කෙනෙක් නෙවෙයි.

ඒ වෙලාවේ තිබුණෙ කාඞ් ගහන දර්ශනයක්. දර්ශනයෙ හැටියට මනෝ කාඞ් එකක් හංගගන්නවා. එතකොට අර ආධුනික නළුවා උඹ හොරා උඹ හොරා කියලා කෑ ගහන්න ඕනේ. එයාගෙ අනිත් පැත්තේ හිටියේ සුනිල් හෙට්ටිආරච්චි. මනෝරත්න කාඞ් එක හංගගත්තා. මෙයා බලාගෙන ඉන්නවා. බය වෙලා වගේ. මනෝරත්න ආයෙ පාරක් කාඞ් එක අරන් අරයට පෙන්නලම කාඞ් එක හංගගත්තා. ඒත් මොකුත් සද්දයක් නෑ. එතනින් එහාට නාට්‍යය ගෙනියන්නත් බෑ. මම හිටියේ එතන බලන් ඉන්න කෙනෙක් විදියට. අරය සද්ද නැතිනිසා මම කෑ ගැහුවා අන්න අයිසේ අරයා කාඞ් හංගනවා කියලා. ඒත් මොකුත් නෑ. ඊට පස්සේ මනෝරත්න මගෙත් එක්ක රණ්ඩුවට ඇවිත් අර ආධුනිකයාට යන්න කියලා එළියට යැව්වා. රංජන් ධර්මකීර්ති බැලූවා ඇයි එළියට ආවේ කියලා ආයෙ එයාව එව්වා. අපි ආයෙ ආපහු යැව්වා. ඊට පස්සේ අර ආධුනිකයා පිටි පස්සේ ඉඳන් එබිල බලලා උඹ හොරා උඹ හොරා කියලා කිව්වා. අපි හැමෝටම හිනා. රඟපාන අය පිටි පස්ස බලන් හිටියේ හිනා යන නිසා. කොහොම හරි නාට්‍යය කරගෙන ගියා. ඉවර වෙලා රංජන් ධර්මකීර්තිට මනෝරත්න කිව්වා අර ආධුනිකයා නම් හරි යන්නේ නෑ කියලා. පස්සේ එයාව අස් කරා.

ඊට පස්සේ ඔබ වේදිකාවෙන් පුංචි තිරයට එනවා?
ඔව්. චරිත තුනක් නාට්‍යයේ වගේම කුමාරිහාමි, නිසලවිල වගේ නාට්‍යවල එකකට එකක් වෙනස් චරිත තමයි මට ලැබුණේ. හැම චරිතයකම පිටපත හොඳින් කියවලා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මම උත්සාහ කළේ. චරිතය ගැන හිතලා චරිතයේ ජීවත් වෙන්න උත්සාහ කළා.

චරිත තුනක් නාට්‍යට ඔබ සම්බන්ධ වෙන්නේ ඔබේ තරුණම අවධියේදී?
ඒකේ තිබුණේ. තරුණයකුගේ චරිතයක්. එතන ඉඳන් වයසට යන චරිතයක්. ඉතින් ඒ හැම වයසකම රඟපාන්න මට අවස්ථාව උදා වුණා. වයසට ගැළපෙන විදිහට මේකප් වෙනස් කරලා කිසිම ආයාසයකින් තොරව තමයි ඒ චරිතය කළේ. වසන්ත කොටුවැල්ල, ජයසේකර අපොන්සු, ඩිලානි අබේවර්ධන, ලියෝනි වීරසිංහ, රෝහණ බැද්දගේ වගේ දක්‍ෂයෝ ඒ නාට්‍යයේ හිටියා.

ඒ අතරින් ඔබ දැකපු දක්‍ෂයෝ කවුද ඒ වෙද්දි?
වසන්ත කොටුවැල්ල දක්‍ෂ නලූවෙක්. ලියෝනි දක්‍ෂයි. රෝහණ බැද්දගේ මහත්තයත් ගොඩක් දක්‍ෂයි.

ඔබ අසනීප වෙද්දිත් නාට්‍ය කීපයක වැඩ කරමින් හිටියේ?
අන්දරේලා, රෝමය ගිනි ගනී, ගුරු තරුව වගේ වේදිකා නාට්‍යවල කටයුතු කරමින් හිටියා. සේපාලිකා නාට්‍යයේ චරිතයක් කළා. ඒත් ඒක ඉවර කරන්න බැරි වුණා. ඒකේ ඉතිරි කොටස බුද්ධදාස විතානාරච්චි තමයි රඟපෑවේ. තවත් එක නාට්‍යයක අවසන් කොටස් කීපය මගේ නිවසේදී රූගත කිරීම් කළා. එතන තිබුණේ රෝහලක ඉන්න දර්ශනයක්. ඒ පසුබිම ගෙදරම නිර්මාණය කරලා තමයි ඒ රූගත කිරීම් කළේ.

ටෙලි නාට්‍ය රංගනයත් එක්ක රූගත කිරීම්වලදි ඔබ අත් විඳපු විශේෂ සිදුවීම් මොනවද?
එක දවසක් නම් මරණ බය දැනුණා. එදා රූගත කිරීම් තිබුණේ කලූ ගෙඟ්. මෙහා ඉවුරෙ ඉඳන් එහා ඉවුරට ගිහින් ඔරුවේ එන්න තිබුණේ. ඔරුව අරන් ගියේ පොඩි ළමයෙක්. එහා ඉවුරෙන් ආපහු එන්න ගොඩක් අය හිටියා. ඒකහින්දා ඔරුවට බර වැඩි වුණා. ඔරුවට වතුර ටික ටික දාන්න පටන් ගත්තා. ඒ අතරේ පොඩි එක්කෙනාගේ හබල වතුරට අත ඇරුණා. ගෙඟ් අඩි 30ක් විතර ගිහින් තිබුණේ. ඒ හරියේ අඩි 40ක් විතර ගැඹුරුයි. මට හිතුණා ඔරුව පෙරලෙයි කියලා. මම ගඟට පැන්නා. පැනලා ඔරුවෙ එල්ලූණා. ඒ පාර මෙහා ඉවුරෙ හිටපු තරුණයෙක් ගඟට පැනලා ඔරුවට දාලා තිබුණ කඹෙන් ඇදලා ගොඩට ගත්තා. ඒ වෙනකල් මම ඔරුවේ එල්ලිලා හිටියේ. එදා තමයි මට මරණ බය දැනුණේ.
තව දවසක වසන්ති චතුරාණි එක්ක රූගත කිරීම් කරද්දි මාව අලියෙක් ගහලා ඔරුවෙන් අරන් යන්න තිබුණේ. වසන්ති ඔරුව පදිනවා. එදත් අර වගේම වතුර දැම්මා ඔරුවට. යටින් ඔරුවේ අයිතිකාරයා ඔරුව ඇදගෙන යනවා. මම ඔරුවේ නිදාගෙන වගේ හිටියේ.මට දැනුණා ඔරුවට වතුර දානවා. මම කෑ ගැහුවා. වසන්තිගේ පැත්තේන් ඔරුව භාගයක් විතර යට ගියා. ඊට පස්සේ කට්ටිය ඇවිත් බේර ගත්තා.

ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ රංගනයමද?
නෑ මම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළා. ඒ අතරේ තමයි නාට්‍ය රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ.

රැකියාවෙන් ප්‍රශ්නයක් වුණේ නෑ?
ප්‍රශ්න වුණා. ප්‍රශ්න අතරේ තමයි ඔක්කොම කරේ. උදව් කරන අයත් හිටියා.

ඔබ ඒ අතරේ උපාධියත් සම්පූර්ණ කරනවා?
ඔව්. මට ලොකු උවමනාවක් තිබුණා උපාධියක් හදාරන්න. රැකියාවට යන අතරේ විවෘත විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධියක් හැදෑරුවා. ඉන් පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වෙලා ඒකත් සම්පූර්ණ කළා. ඒ කාලේ තවත් ගොඩක් අය උපාධි හැදෑරුවා. කලාකරුවෙකුට අධ්‍යාපනය වැදගත්. අධ්‍යාපනයත් එක්ක ඒ ඒ චරිත අධ්‍යනය කරමින් රඟපාන්න හොඳ බුද්ධියක් ලැබෙනවා. නාට්‍ය හා රංග කලාව ඉගෙනගත යුතුයි. එහෙම වුණොත් පමණයි පරිපූර්ණ රංගනයක නියැලෙන්න පුළුවන්.

ඔබ විදේශ නාට්‍යවලත් රඟ දක්වලා තිබෙනවා?
ඔව් නාට්‍ය කීපයකම රඟපාන්න මට අවස්ථාව උදා වුණා. රඟපාන්න විතරක් නෙවෙයි මම විදේශ සේවයෙත් ඉඳල තියෙනවා.

ඒ කියන්නේ ඔබ විදේශ රැකියාවකත් හිටියා?
ඔව්. ඕමාන්වල අවුරුදු 3ක් කාර්මික නිලධාරියෙක් විදිහට වැඩ කරා. රස්සාව දාලා තමයි මම විදේශ සේවයට ගියේ.

ආපහු එද්දි?
ආපහු එද්දි මාව ගොඩක් අයට අමතක වෙලා තිබුණා. සමහරු මාව දන්නෙත් නෑ. එහෙම තියෙද්දි තමයි තිලක් ගුණවර්ධන මහත්තයා එයාගේ නාට්‍යවලට මාව සම්බන්ධ කරගත්තේ. කුමාරිහාමි ටෙලි නාට්‍ය, මීපුර වැසියෝ වගේ වේදිකා නාට්‍ය වගේ නිර්මාණවලට සම්බන්ධ වුණේ ඒ කාලේ.

සරත්චන්ද්‍ර මහත්තයා එක්ක වැඩ කරද්දි කොහොමද?
සරත්චන්ද්‍ර මහත්තයා ලේසියෙන් සතුටු කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මොකක් හරි වැරදුණොත් කියන්නේ එක පාරයි. ආයෙ හරියට කියන කල්ම පුරුදු වෙන්න ඕනේ.

සරත්චන්ද්‍ර මහත්තයාගේ අභාවයත් එක්ක ඔබ එතුමාගේ නිර්මාණවලින් ඉවත් වුණේ ඇයි?
එතුමා ඉන්නකල්මම එතුමාගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. අවසානෙට බව සසර කියන නාට්‍යයට සම්බන්ධ වුණා. එතුමාගේ අභාවයෙන් පස්සේ තමයි මම විදේශගත වුණේ.

ඔබ අනුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වුණා. ඔබගේ නිර්මාණයක් කරන්න උත්සාහ නොගත්තේ ඇයි?
උත්සාහ නොගත්තා නෙවෙයි. මට කරගන්න බැරි වුණා. සීතාවක රාජසිංහ රජතුමාගේ චරිතය එක්ක නාට්‍ය පිටපතක් හදලා තිබුණේ. ඒත් අසනීප වුණ නිසා කර ගන්න බැරි වුණා.

අසනීප තත්ත්වයෙන් ඉක්මණින් සුවපත් වෙන්න වාසනාව ලැබුණොත්?
ආපහු ලැබෙන පොඩි චරිතයක් හරි රඟපානවා. මට හරි ආසයි රඟපාන්න. ටිකක් ඇවිදගන්න ලැබුණොත් ඇති. පොඩි චරිතයක් හරි කරන්න පුළුවන්නේ.

එදා වේදිකා නට්‍ය සහ අද වේදිකා නාට්‍ය ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම පරිහානියක් තියෙනවා. හොඳ වේදිකා නාට්‍ය දෙක තුනක් තියෙනවා. අනික්වා ඔක්කොම හාස්‍ය පස්සේ යනවා. දෙපිට කැපෙන වචන, දේශපාලන කතා තමයි වැඩි.

ඔබ හොඳ හාස්‍ය නළුවෙක්?
හාස්‍ය කියන එක මතුකරන්න උත්සාහ ගන්න ඕනෙ නෑ. චරිතයට ගැළපෙන විදිහට රඟපෑවා නම් ඇති. ඒකෙන් තමයි හාස්‍ය මතු වෙන්නේ. හරියට දෙබස් උච්චාරණය කරන්න ඕනේ. ජෝ මහත්තයා, ජයලත් මනෝරත්න මහත්තයා තමයි හොඳම හාස්‍ය නළුවෝ විදිහට මම දකින්නේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු?
දැන් නම් තියෙන එකම බලාපොරොත්තුව තමයි මේ අසනීපේ හොඳ කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක් හොයා ගන්න එක. දැනට බෙහෙත් කරන්නෙ නෑ. හිතාගෙන ඉන්නේ සිංහල බෙහෙත් කරලා බලන්න. ඒකට හොඳ කෙනෙක් හොයා ගන්න ඕනේ.

අසනීප වුණේ හදිසියෙමයි. මුලින් උණ ගත්තා. ඒ එක්කම ඇවිදින්න අමාරු වුණා. ටිකක් හොඳ වුණායින් පස්සේ ආයේ නාට්‍යයේ වැඩවලට ගියා. එහෙම ඉද්දි ආයෙත් අසනීප වුණා. ඒ අසනීප වෙලා සාලාව රෝහලට ඇතුළු කළා. එතනින් අවිස්සාවේල්ලට. ඒ කොහෙදිවත් හරියට ප්‍රතිකාර වුණේ නෑ. පස්සේ ගෙදර ඇවිත් මෙහේ ඩොක්ටර් කෙනෙකුගෙන් බේත් කරා. මම කිව්වා කොළඹ යන්න ඕනේ කියලා බෙහෙත් ගන්න. කොළඹ ගියා. එහෙදි සිහිනැතිව දවස් 3ක් දැඩි සත්කාර ඒකකයේ හිටියේ. එදා නම් මම හිතුවේ මම මැරුණා කියලා. මම මැරුණෙ නෑ. තාම ඉන්නවා. දැන් ඉතින් තව ටිකක් හොඳ කරගන්න තමයි ඕනේ.

No comments