අලුත් ජම්බු

ජයින් ජයම වේවා! ස්තූතීයි කියන්නේ හදවතින්මයි ඒක විහිලුවකට ගන්න එපා



රසංග වේදිකාවේ නිතර දකින්න ලැබෙන ගායකයෙකු ලෙස අසංක ප්‍රියමන්ත පීරිස් හඳුන්වන්න පුළුවන්. බොහෝ කාලයක් පුරාවට සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ටම වෙන්වූ අනන්‍යතාවක් ගොඩනගා ගත් ඔහු සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ වෙනත් කරුණක් නිසා බව කොයි කවුරුත් දන්නා දෙයක්. ඔහු පසුගියදා ඒ පිළිබඳව මාධ්‍යට පවසා තිබුණා.


මේ දවස්වල වැඩ කොහොමද..?
මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ වැඩ කරගෙන යනවා. මේ වෙද්දි මගේ අලුත් ගීත තුනක් එළි දැක්වුවා. ඒ ගීතවල මියුසික් වීඩියෝ එකත් හදලා ඉවරයි. ඒවා ඉදිරියේදී මාධ්‍යවලට භාර දෙනවා.

ගීත නිර්මාණ කරන්නෙ ප්‍රසංග වේදිකාව ඉලක්ක කරගෙනද..?

නැහැ. ප්‍රසංග වේදිකාවට කියලා විශේෂයෙන් ගීත නිර්මාණ කරලා නැහැ. අපිට නිර්මාණය කරල දෙන ගීත ගායනා කරනවා.

ප්‍රවීණයෙක් විදිහට වර්තමාන ගීත නිර්මාණ ගැන ඔබේ අදහස මොකක්ද..?

දැන් මම අවුරුදු 30ක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. මෑත කාලෙදි කරන ගීත නිර්මාණ රැඳීමක් නැතිවෙලා තියෙනවා. ඒ වගේම එන අය අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයකදී නැතිවෙලා යනවා. ඒක ලොකු වැරැද්දක්.

වර්තමානයේදී ප්‍රේම ගීත ගායනා කරන අයට බනිනවා. මේකට හේතුවක් තියෙනවද..?

මෙහෙමයි. දැන් ඉන්න නවක කලාකරුවන්ගේ ගීත ඔක්කොම එක විදිහයි. අන්න ඒක තමයි වැරැද්ද. අනන්‍යතාවය පිහිටා ගැනීම තමයි වැදගත් වෙන්නේ. හඬක් අහපු ගමන් මේ හඬ අහවල් කෙනාගේ කියන තැන ඇති කරගන්න ඕන. හොඳ තැනක් හදාගන්න එක තමයි වටින්නේ.

අද මේ සෝෂල් මීඩියා කියන දේ ගොඩක් භාවිත කරනවා සහ අවභාවිත කරනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද..?

දැන් අනවශ්‍ය දේවල් ඕක හරහා සිදුවෙනවා. ගොඩක් වෙලාවට හරි දේ හොයල හොඳ පැත්තට යොමු වෙන අය දකින්නේ අඩුවෙන්. ඒවා හරිම වැරදියි. ඔය දේවල් නිසා වර්තමානයේදී ගොඩක් මිනිස්සුන්ට පහර ගහනවා. කලාකරුවන්ට, දේශපාලඥයන්ට හැමෝටම පහර ගහනවා. ඇත්තටම ඒක හරිම වැරදියි. ඒවා අල්ලන්නත් අමාරුයි. හැබැයි ඒවා ඉදිරියේදී නැතිවෙලා යයි කියලත් හිතෙනවා.

ඔය දේ ඇතුළෙ ඔබටත් මඩ ගහනවා. ඔබත් යම් අවස්ථාවලදී විහිළුවට ලක් වෙනවා නේද..?

මට මඩ ගහන්නේ ඔය ජයින් ජයම වේවා!, ස්තූතීයි කියන එකටනේ. අද අපි හැමෝම දකිනවා ඒ වගේ දේවල් කියන්නේ නැති එකෙන් සිදුවෙන වැරදි. ඉතින් ඔය වගේ ප්‍රශංසා කරන දේවල්වලට මඩ ගහන එක නම් හරිම අපරාධයක්. මොකද අපි ඒක කියන්නේ හදවතින්, සුන්දරව. මිනිස්සු ඒක ගන්න විදිහේ වැරැද්දක්. මිනිස්සු විවිධාකාරයි කියන එක ඔතනින් හොඳටම පැහැදිලි වෙනවා. මම එහෙම ප්‍රශංසා කරන එක වැරදි නැහැ කියන්න මගේ හිත දන්නවා. අපිව එහෙම මිනිස්සු විහිළුවකට ගන්න එක ලොකු වැරැද්දක්.

ඔබ සංගීත ක්ෂේත්‍රය තුළ වසර 30 ක කාලයක් පුරායට රැඳී සිටිනවා. අද වෙද්දි සංගීත ක්ෂේත්‍රය තුළ දියුණුවක් තියෙනවද..?

මෙහෙමයි. ඉදිරියේදී සංගීත ක්ෂේත්‍රය අර ඉස්සර තිබුණු යුගයට යන්න පුළුවන්. ජෝතිපාල මහත්මාගේ ගීත දැන් වැඩි වශයෙන් ගායනා වෙනවා. දැන් ඒ යුගයට ඇවිත් තියෙනවා මං හිතන්නේ ඉදිරියටත් පරණ ගායකයන්ගේ ගීත ඔය විදියට එළියට එන්න පුළුවන්.

No comments