අලුත් ජම්බු

දෙවෙනි ඉනිම මගේ අවසන් නිර්මාණය




‘දෙවෙනි ඉනිම’ හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත් ඇය, අද සිනමා නිළියක බවට පත්ව තිබේ. පුංචි තිරය ඔස්සේ රසිකයන්ගේ සිත් වසඟයට පත්කළ ඇය නමින් නයනතාරා වික්‍රමආරච්චි වෙයි. ජනප්‍රිය නිළිය සම්මාන හිමිකර ගත් ඇය මෙවර ‘සාරවිට’ තරු කතාබහට එක්වූවාය.
 
‘එක දවසක අපි’ සිනමා නිර්මාණය ගැන කිව්වොත්?2018-02-15-ent-155
‘එක දවසක අපි’ තමයි මගේ එළිදක්වපු පළමු චිත්‍රපටය. ඊට කලින් චිත්‍රපට 02ක් කරලා තියෙනවා. මේක තුන්වෙනි චිත්‍රපටය. ඒක තමයි මුලින්ම ප්‍රදර්ශනය වුණේ. ‘එක දවසක අපි’ කියන්නේ වෙනස්ම නිර්මාණයක්. සාමාන්‍ය ආදර කතාවකට එහා ගිය කතාවක් එතැන තියෙනවා. ඒ කියන්නේ ප්‍රේමයේදී දෙදෙනෙකුට සමාජයෙන් ඇතිවන ප්‍රශ්න සහ සමාජය ඇතුළේ තියෙන සංස්කෘතිමය ප්‍රශ්න ගැන කතා කරන චිත්‍රපටයක්. ඉතින් ප්‍රේක්‍ෂකයන්ට ආරාධනා කරනවා චිත්‍රපටය නරඹලා ඒක ගැන කියන්න කියලා. මොකද අපි කියනවාට වඩා ඒක හොඳයි.
 
චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?
මම අනුරුද්ධ ජයසිංහ මහත්මාගේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා ‘සමනලුන්ට එන්න කියන්න’ කියලා. ඒ ටෙලි නාට්‍යයෙන් දැනගෙන තමයි මේ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ.
 
චිත්‍රපටයේ අවසානයේදී සියදිවි නසා ගැනීමේ දර්ශනයක් තියෙනවා. ඒක සමාජයට වැරදි ආදර්ශයක් දෙනවා නේද?
ඒක එහෙම නෙවෙයි. කලාව කියන්නේ බුදු දහමට ඉතා සමීප දෙයක්. මේ නිර්මාණයත් බුදු දහමේ එක පාඩමක් කියලා කියන්න පුළුවන්. අවසානයේ සියදිවි නසා ගැනීමේ දර්ශනයක් තිබුණට ඊට කලින් අපි කතා කරනවා එයාලා ඒ තත්ත්වයට පත් වෙන්නේ ඇයි, ඒ කොහොමද කියලා. ඒ කියන්නේ එතැන තියෙන්නේ හේතුඵලවාදයයි. අපි මේකෙන් දෙන්නේ ඵලය නෙවෙයි. ඒක සිදුවන හේතුවයි. අපි ප්‍රේක්‍ෂකයන්ට දෙන්නේ මේකේ හේතුවයි. ඒකේ ඵලය ගන්න එපා කියලා කියන්නෙ. ඒක චිත්‍රපටයේ අවසානයේ කියනවා. ඉතින් මම හිතන්නේ සමාජයකින් ගන්න ඕන ඵලය නෙවෙයි, හේතුවයි. හේතුව අරගෙන ඒකෙන් වෙන දේ තමයි අපි ආදර්ශයක් විදියට ගන්න ඕන. දෙමවුපියන් ගන්න සමහර තීරණ, ඒ පුද්ගලයන්ට සමාජයෙන් ඇතිවෙන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ. මම හිතන්නේ සමාජයට ඒ ඵලයට වඩා ඒ හේතුව ලොකු ආදර්ශයක්.
 
ඔබත් සමග ප්‍රධාන චරිතයට පණපොවන පුබුදු සිනමා අත්දැකීම් ඇති කෙනෙක්. කොහොමද ඔහුත් එක්ක ලැබුණු අත්දැකීම?
ඔව්. මම සිනමාවට අලුත් කෙනෙක්. පුබුදු අයියට සිනමාව ගැන අත්දැකීම් තියෙනවා. පුබුදු අයියා සමග රඟපාන්න හරිම පහසුයි. සමහර ඒවා අපි කලින් ඉඳලා රියසල් කරනවා. ඉතින් අධ්‍යක්‍ෂවරයාගේ ඉඳලා පුබුදු අයියා, මම, අපි හැමෝම කතාබහ කරලා තමයි මගේ චරිතය හදා ගත්තේ. ඒක හරියට පවුලේ වැඩක් වගේ.
 
සිනමාව හා ටෙලි නාට්‍ය අතරින් නයනතාරා වැඩිපුරම කැමැති, වැඩිපුර නැඹුරුවක් දක්වන්නේ මොන ක්‍ෂේත්‍රයටද?
මෙහෙමයි. ටෙලිනාට්‍ය කියන්නේ නරක දෙයක් නෙවෙයි. නවකයන්ට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හොඳ පිවිසුමක්. හැබැයි අපි එතැනින් යමක් හැදෑරුවාට පස්සේ ප්‍රේක්‍ෂකයන්ට යමක් ඉතිරි කරන්න ඕන. මම හිතන්නේ ඒකට හොඳම තැන සිනමාව. මොකද සිනමාවේදී යමක් ඉතිරි වෙනවා. ඉතින් මම වැඩි නැඹුරුවක් සිනමාවට දෙන්න කැමැතියි.
 
සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය පුද්ගලයන්ට විවිධ කටකතා හැදෙනවා. මේ ගැන මොකද්ද හිතෙන්නේ?
මෙහෙමයි. ඇත්තටම කටකතා හදන එක නම් හරිම පහත් වැඩක්. ගොඩක් වෙලාවට එහෙම කටකතා හදන්නේ අපි හිතන, අපට දුර මිනිස්සු නෙවෙයි. ඇත්තටම අපි ඒ කටකතා ගැන එච්චර හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයාලාට වෙන වැඩක් නැති නිසානේ කටකතා හදන්නේ. ඒක කරගත්ත දෙන් ඉතින් නිදහසේ.
 
මේ දිනවල ඔබ හා ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් සම්බන්ධ කරගෙන කටකතාවක් හැදිලා තියෙනවා නේද?
නෑ නේද?.. මම දන්නේ නැහැනේ.... අනේ මම එහෙම දෙයක් ගැන දන්නේ නැහැනේ.
 
මෙහෙම දේවල් නිසා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද?
නැහැ. ක්‍ෂේත්‍රය ගැන එහෙම කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා නම් අපි කවුද, අපි ඉන්න විදිය ඒ ඇති. අපි ගැන දන්න සීමිත පිරිසක් ඉන්නවා. බහුතරයක් ප්‍රේක්‍ෂකයොත් මාව දන්නවා. මට කවුරුත් එහෙම මුකුත් කියන්නේ නැහැ. කියලත් නැහැ. එහෙම කියනවා නම් ඒක කටකතාවක්ම තමයි. ඒවා මම නම් හිතන්නේ නැහැ. අපි නිවැරදි නම්, ඒ දේවල් කාලෙත් එක්ක මැකිලා යනවා. කටකතා හදන අයගේ ඒ වෙලාව අපරාදේ. ඒ වෙලාවෙන් එයාලගේ ජීවිතයට යමක් කරගත්තා නම් හොඳයි.
 
ඔබ ෆේස්බුක් සටහනක් දාලා තිබුණා ඔබේ නම හා ඡායාරූප ව්‍යාජ ලෙස යොදා ගනිමින් ප්‍රසංගවලට යම්යම් ප්‍රචාරණ කටයුතු සිදු කරනවා කියලා. ඇත්තද මේ කතාව?
ඔව්. ඒක ගැන කතා කරන්නම ඕන. මම ඒ ගැන මගේ ඔරිජිනල් සමාජ ජාල පිටුවලින් සඳහන් කළා. මමත් ඒ බොරු ප්‍රචාරණ ගැන දැක්කා. මගේ රූපය යොදාගෙන මම ප්‍රසංගවලට සහභාගි වෙනවා කියලා. එහෙම ප්‍රසංගවලට සහභාගි වන සහෝදර ශිල්පීන් ඉන්නවා. ඒත් මම එහෙම සහභාගි වෙන්නේ නැහැ කියලා පෞද්ගලික තීරණයක ඉන්නවා. මම එහෙම ප්‍රසංගවලට සහභාගි වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රේක්‍ෂකයන්ට විශ්වාසයෙන් යුතුව කියන්නේ ඕන. ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕන ඒ දේවල්වලට රැවටෙන්න එපා කියලා. ඒක ලොකු බොරුවක්. ලංකාවේ හැමතැනම එහෙම කටවුට් ගහලා තියෙනවා. ඒවා කරන අයටත් බොහොම ආදරයෙන් කරුණාවෙන් කියනවා එහෙම කරන්න එපා කියලා. ඒවා හරිම වැරදි වැඩ.
 
මෙගා ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස මොකද්ද?
ඔව්. මම කලින් කිව්වා වගේ මමත් ක්‍ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. අවුරුදු දෙකක් වගේ. අපට ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හොඳ තැනක්. මෙගා ටෙලිනාට්‍යවලට මොකුත් කියන්න බැහැ. මොකද ‘දෙවෙනි ඉනිම’ කියන්නේ මෙගා නාට්‍යයක් නිසා. නාට්‍යයේ චරිතයට හානියක් සිදු නොකර දීර්ඝව කරනවා නම් ඒක හොඳ දෙයක්. හොඳ නිර්මාණත් එනවා. මම හිතන්නේ ‘දෙවෙනි ඉනිම’ මගේ අවසාන මෙගා ටෙලිනාට්‍ය වෙයි. මොකද මම සිනමාවට වැඩි නැඹුරුවක් දෙන්න කැමැතියි. ඒ වෙනුවෙන් වැඩ කිහිපයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි විදේශීය දේවල්වලට වඩා දේශීය දේවල්වලට මුල් තැන දෙනවා නම්, මෙගා වුණත් කමක් නැහැ. මොකද අපේ දෙයක්නේ.
 
අද සිනමාව කියන ක්‍ෂේත්‍රය ශක්තිමත්ද?
ශක්තිමත් මදි.
 
එවැනි තත්ත්වයක් තියෙද්දි වෘත්තීමය වශයෙන් සම්බන්ධ වෙනවාද?
වෘත්තීමය වශයෙන් සම්බන්ධ වෙන්න ආසයි. ඒත් එහෙම කරන්න අමාරුයි. අපට ස්වර්ණමය යුගයක් තිබුණා. හැබැයි දැන් දුර්වල වෙලා. හොඳ දේවල් බිහිවෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරු ඉන්නවා, දක්‍ෂ රංගන ශිල්පීන් ඉන්නවා. නිෂ්පාදකවරුන්ගේ මදිකමක් තියෙනවා. නිෂ්පාදකවරුන් අධ්‍යක්‍ෂවරයා ඇතුළු කණ්ඩායමත් එක්ක අවසානය දක්වාම ඉන්න ඕන. අපි සිනමාව හොඳ තැනකට ගන්න මහන්සි වෙන්න ඕන. අත්හැරලා දැම්මොත් ඒක ලොකු අපරාදයක්.
 
නයනතාරා අපි කතා කරමු ඔබේ ඉදිරියට එන්න තිබෙන නිර්මාණ ගැන?
ඔව්. චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. තව එක ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා.
 
අවසාන වශයෙන් ප්‍රේක්‍ෂකයන්ට මොකද්ද කියන්න තියෙන්නේ?
ඔව්. මුලින්ම කියන්න ඕන මේ දිනවල ‘එක දවසක අපි’ තිරගත වෙනවා. ආදරයෙන් ආරාධනා කරනවා ඒක බලන්න කියලා. බලලා අදහස් අපට කියන්න කියලා. ඊට අමතරව ඉදිරියේදී තව චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. කපිල සූරියආරච්චිගේ ‘සිනේමා’ සහ අනුරුද්ධ ජයසිංහගේ ‘මා’ කියන දෙක. තව ටෙලිනාට්‍යයක් තියෙනවා චන්න පෙරේරාගේ ‘භවත්මා’ කියලා. ඒවා එක්කත් රැඳෙන්න කියනවා මගේ ප්‍රේක්‍ෂකයන්ට.
 
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක
 
 2018-02-15-ent-156

No comments