අලුත් ජම්බු

මහින්දගේ දූෂණ හෙලිකල ශ්‍රීපතිගේ හදිසි වියෝවට අදට වසර 10


හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දසවැනි ගුණානුස්මරණය පෙබරවාරි 09  යෙදී තිබේ.
1962 සැප්තැම්බර් 08 වැනි දින උපන් සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 09 වැනිදා රිය අනතුරකින් මිය ගියේය.
වෘත්තියෙන් නීතිඥයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මනත්‍රිවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය. එමෙන්ම සූරියආරච්චි මහතා නාවික හමුදා නිලධාරියකු මෙන්ම ප්‍රකට මල්ලවපොර ශූරයකුද විය.
2004 අප්‍රේල් මාසයේ පැවැත්වුණු මැතිවරණයෙන් සූරියආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්විය. ඔහු කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් කටයුතු කළේය.
2005 පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අතර රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ආණ්ඩුවේ වරාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිකර ගත්තේය.
මාස කිහිපයකට පසු අමාත්‍ය ධුරයෙන් ඒ මහතා ඉල්ලා අස්වූ අතර පසුව මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය පිහිටුවා එහි ජාතික සංවිධායක ලෙස කටයුතු කළේය.
2007 වර්ෂයේදී ශ්‍රීපති සූරියආරච්චි මහතාට රජයේ වාහන අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් ගත වීමට ද සිදුවිය.
බන්ධනාගාර රෝහලේ සිටීම ප්‍රතික්ෂේප කරමින් අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ඇපමත මුදාහරින තුරුම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු ලෙස සිටි සූරියආරච්චි මහතා බන්ධනාගාරයෙන් පිටවනතුරුම තමාට සිදුකර ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කළේය.
රිය අනතුරකින් මියයනවිට ඒ මහතා 46 වැනි වියේ පසුවූ අතර රැස්වීමක් අවසන් කර අනුරාධපුරයේ සිට පැමිණෙමින් සිටින විට මේ අනතුරට ලක් විය. ඒ මරණය සමාජයේ දැඩි කතා බහට ලක්වූ මාතෘකාවක්ද විය.
ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දස වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් අද (9) රාත්‍රියේ ඒ මහතාගේ නිවසේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිතය.
කැලණියේ ශ්‍රීලනිප සංවිධායකවරයා වශයෙන් ද පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද නියෝජ්‍ය ඇමැතිවරයෙකු හා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රීපති සූරියආරච්චි මහතා 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීම සඳහා ගෙන ගිය එම සටනේ අභීත සෙන්පතිවරයෙක් විය. ජනතා විමුක්ති පෙරමු‍ණ හා ජාතික හෙළ උරුමය ඇතුළු සියලු බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එක්රොක් කිරීමට ඔහු දැඩි වෙහෙස මහන්සියක් දැරීය. ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ මාධ්‍ය මෙහෙයුම පිටුපසින් සිටි පුරෝගාමීන් අතර ඔහු පුරෝගාමියෙක් විය. ඇත්ත වශයෙන් ම, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ක්‍රියාකළ ජනාධිපතිවරණ මෙහෙයුමේ පුරෝගාමි සෙන්පතියන් 05 දෙනා අතර සූරියආරච්චි මහතා ද විය. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු තුළ වූයේ විස්මයජනක කැපවීමකි. ඇතැම් විට ජයග්‍රාහී ඉලක්කය කරා සෙසු අයද ඇදගෙන යාමේ අපූරු ආකර්ෂණ බලයක් ද ඔහු තුළ විය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව එම ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම සඳහා පුරෝගාමී වූ පිරිස අතර සූරියආරච්චි මහතා සිටියේය. ජනාධිපතිවරයාගේ ගමන නිවැරදි මාවතට යොමු කිරීම ඔහුගේ එකම අරමුණ විය.
මේ වෙනුවෙන් ඇතැම් විට විශාල කැපකිරීම් කිරීමට ඔහුට සිදු වූ අන්දම අපට මතකය. අමාත්‍ය ධුර සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වූ විට ඔහු වරක් සිය කැමැත්තෙන්ම එක් අමාත්‍ය ධුරයකින් ඉවත් විය. මහින්ද චින්තනයේ ඇතුළත් පොරොන්දු ඉටු කිරීම සඳහා ඔහු මහත් වෙහෙසක් දැරීය. අමාත්‍යවරයෙකු වශයෙන් තරුණ පරපුරේ කුසලතා වර්ධනය කිරීමටත් ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමටත් සූරියආරච්චි මහතා අමාත්‍යවරයෙකු ලෙස නිර්මාණශීලී වැඩ කොටසක් ඉටු කළේය.
සූරියආරච්චි මහතා මාරාන්තික තර්ජනවලට මුහුණ දුන්නේ ඔහු අමාත්‍ය ධුරය දරමින් සිටියදීය. වරක් ඔහු ඉලක්ක කර ගනිමින් ඔහු ගමන් ගත් මාර්ගයේ බෝම්බ අටවා තිබූ බව වාර්තා විය. ඒවා කවුරුන් විසින් සිදුකළ ඒවාද යන්න අදටත් පැහැදිලි නැත. කල් යාමේදී දේශපාලන මතභේද වර්ධනය වූ බව සැබෑය. එහෙත් පක්ෂය හෝ රජය හැර යාමේ අරමුණක් ඔහු තුළ නොවීය. කෙසේ වෙතත් හදිසියේම දිනක එනම් 2007 පෙබරවාරි 09 වැනිදා ‍මම සහ අනුර බණ්ඩාරනායක ඇමැතිතුමා සමඟ ඔහු ද තනතුරෙන් ජනාධිපතිවරයා විසින් පහකරනු ලැබුවෙමු. ඊට හේතු වූයේ සූරියආරච්චි මහතා ඒ වන විටත් රජය තුළ පැවති බොහෝ දූෂණ ක්‍රියා පක්ෂය තුළ හෙළිදරව් කිරීමට පටන්ගෙන තිබූ නිසාය.
අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමූ පසු ඔහුගේ කට වැසිය හැකි යැයි බලධාරීන් කල්පනා කළ ද සිදුවූයේ අනෙකකි. ඔහු ඉතාමත් නිර්භීත ලෙස බොහෝ දූෂණ ක්‍රියා හෙළිදරව් කිරීමට පටන් ගත්තේය. ජනාධිපතිවරණ සමයේ දී එල්ටීටීඊය හා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ ඇතැමුන් අතර සිදු වූ බව කියන රහස් ගනුදෙනු ඔහු හෙළිදරව් කළේය. ඔහු ඒ ගැන කියන්නට නොබියව අල්ලස් කොමිසම හමුවට ගියේය. තම චෝදනා ඔප්පු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටියේය. එහෙත් ඒ කිසිවකට ප්‍රතිචාරයක් ලැබුණේ නැත. කුප්‍රකට ටෙලිකොම් ගනුදෙනුවක් හරහා හොර රහසේ උපයා ගන්නට සැලසුම් කොට තිබූ වැඩපිළිවෙළක් ව්‍යාර්ථ වූයේ සූරියආරච්චි මහතා ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතියෙන් ජයග්‍රහණයක් ලබා ගත් නිසාය.
අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් තැබීමටත් පසුව ජාතික සභාව ගොඩනැඟීමටත් සූරියආරච්චි මහතා පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේය. පසුගිය කාලය තුළ ජාතික සභාව මගින් සංවිධාන කෙරුණු ජනරළ රැස්වීම් මාලාවේ මුල්පෙළේ කථිකයෙකු වූයේ සූරියආරච්චි මහතාය. ජාතික සභාවේ සෑම ප්‍රධාන පෙළේ කටයුත්තකටම ඔහු සම්බන්ධ විය. ඔහු හෙළිකළ දූෂණ ක්‍රියා පාලකයන්ට හිසරදයක් විය. දේශපාලන සහ අවංකත්වය සමඟ මුසු වූ නීති විශාරද දැනුම ඉවසා දරාගැනීමට ඔවුනට පුළුවන්කමක් නොවීය. මේ නිසා මහින්ද රාජපක්ෂ රජයට විරුද්ධව එළිපිට කතා කළ දේශපාලනඥයන් අතළොස්සක් දෙනා අතර සූරියආරච්චි මහතා ඉදිරියෙන්ම සිටියේය.
දිනමිණ

No comments